Current Date:අප්‍රේල් 25, 2024

දියවැඩියාවෙන් ඇතිවෙන ස්නායු රෝග

මෙය දියවැඩියාව ක්‍රමවත්ව පාලනය නොකිරීමෙන් ඇතිවෙන තත්ත්වයක්, තවද එය දියවැඩියාවේ වර්ග 1 හා 2 නිසා ඇතිවෙන පොදු සංකූලතාවයක් ලෙස පැහැදිලි කළ හැක. වර්ග 02 දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගෙන් 26% කට රෝග විනිශ්චය වන විටත් ස්නායු පද්ධතියේ ගැටලු මතුවී තිබීම විශේෂ කරුණක්. ස්නායු මඟින් සිදුවන්නේ මොළයේ හා ශරීරයේ අනෙකුත් කොටස්වලට සංඥා නිකුත් කිරීමයි. මෙම සංඥා මඟින් කෙනෙකුට දැනීමට හා චලනය වීමට උදව් වන අතර, ආහාර ජීරණය, මුත්‍රා කිරීම හෝ මල පහ කිරීම වැනි ශරීරයේ මූලික ක්‍රියාකරම් පාලනය කරයි.

දියවැඩියාවෙන් ස්නායු රෝග ඇතිවීමට හේතු මොනවාද?

දිගු කාලයක් පාලනය නොකර පැවතුනු ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ ගෙන යන රුධිර නාල වලට හානි සිදුවීම ඉන් ප්‍රධානම කරුණක් වේ.

අනෙකුත් කරුණු:

-අධික බර

-අධි රුධිර පීඩනය

-අධික කොලෙස්ටරෝල්

-අධික ට්‍රයිග්ලිසරයිඩ් (triglyceride)

–උග්‍ර වකුගඩු රෝග (diabetic nephropathy)

-කිරීටක (coronary) හෘද රෝග වැළදී තිබීම

-අධික ලෙස මත්පැන් පානය කිරීම

-දුම් බීම

දියවැඩියාව ආශ්‍රිත ස්නායු රෝග වල ලක්ෂණ මොනවාද?

මෙහි වර්ග 4ක් තිබෙන අතර, රෝගියෙකු මින් එකකින් හෝ ඊට වැඩි වැඩි ප්‍රාමාණයකට මුහුණ දිය හැකියි. මෙම ලක්ෂණ එම අදාළ ස්නායු රෝගි තත්ත්වයට අනුව ක්‍රමක්‍රමයෙන් පෙන්නුම් කරයි. තවද, මෙම ස්නායු රෝග තත්ත්වයන් බොහෝවිට මතුපිටට පෙන්නුම් කරන්නේ එය දරුණු අතට හැරුනු පසුවයි.

Peripheral Neuropathy.

මෙම රෝගී තත්ත්වයන් අතරින් ඉතාමත් සුලභ තත්ත්වයක් වන මෙය බලපාන්නේ කකුලේ පහළ කොටසේ සිට යටිපතුල දක්වාත්, අත්ලේ සිට උරහිස ප්‍රදේශය දක්වාත් වීම විශේෂයි.

මෙහි රෝග ලක්ෂණ වන්නේ:

-වේදනාව හෝ අවට උෂ්ණත්වයන් වෙනස්වීම දැනීමේ සංවේදීතාවය අඩුවීම.

-දැවිල්ලක ස්වාභාවයකට පත්වන හිරිවැටීම.

-දරුණු වේදනාවක් හෝ කෙන්ඩ පෙරලීම.

-ස්පර්ශයන්ට වැඩිපුර සංවේදී වීම.

-මාංශ පේශී දුර්වල වීම.

-ප්‍රතික්‍රියා දැක්වීම හෝ සිරුරේ සමබරතාවාය නැතිවී යාම.

-කකුල ආශ්‍රිත දරුණු කැපුම්, ආසාදන හා සන්දි සහ අස්ථි වේදනාව.

-මෙම ලක්ෂණ රාත්‍රී කාලයේදි තවත් නරක අතට හැරීමට ඉඩ ඇත.

Autonomic Neuropathy.

මෙම ස්වයං ස්නායු පද්ධතියෙන් හදවත, ආමාශය, මුත්‍රාශය, බඩ වැල්, ලිංගික අවයව හා ඇස් ආදිය පාලනය වේ. එම අදාළ ස්නායු දියවැඩියාවෙන් හානියට ලක්වී පහත ලක්ෂණ පෙන්නුම් කළ හැකියි:

-අඩු රුධිර සීනි මට්ටම් හෝ හයිපෝග්ලයිසීමියා තත්ත්වයක් හඳුනාගැනීමට නොහැකි වීම.

-මුත්‍රා මාර්ගයේ ආසාදන, මුත්‍රා කිරීමේ අපහසුතා, මුත්‍රා බර දරා ගත නොහැකිවීම.

-දරා ගත නොහැකි මළ බද්ධය හෝ පාචනය.

-බඩ හිස් වන තෙක් ඇතිවන ඔක්කාරය, වමනය හා බඩ පිපීම.

-ගිලීමේ අපහසුතා.

-අඩුවෙන් හෝ වැඩිපුර දහඩිය දැමීම.

-ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට නොහැකි වීම.

-අලෝකය හා අඳුර ඇති පරිසරයකට යෑමෙදී ඇතිවිය හැකි ඇස් වල පෙනීමේ තත්ත්වය අඩුවීම.

-විවේකීව සිටියදීත් හෘද සප්න්දය වැඩිවීම.

-ඉඳගැනීමෙන් හෝ හිට ගෙන සිටීමෙන් පසුව දරුණු ලෙස රුධිර පීඩනය අඩුවී, ක්ලාන්තය හෝ ඇඟට පාවෙන ගතියක් දැනීම.

-ශිෂ්ණය ඍජු නොවීම, යෝනි මාර්ගය වියළි බට පත්වීම වැනි ලිංගික උත්තේජනයන්ගෙන් බැහැර වීම.

Radiculoplexus Neuropathy. (Diabetic amyotrophy, femoral or proximal Neuropathy)

මෙම තත්ත්වය බලපාන්නේ සිරුරේ කලවා, ඉණ, තට්ටම් ප්‍රදේශය හා කකුලෙ පහළ කොටසටයි. මෙය බොහෝ විට ඇතිවන්නේ වර්ග 02 දියවැඩියාව ඇති හෝ තරමක් වයසක පුද්ගලයන්ටය.

මෙම තත්ත්වය සිරුරේ එක් කොටසකට පමණක් වැළදෙන අතර පසුවට පැතිර යා හැකියි. මෙහි රෝග ලක්ෂණ වන්නේ:

-දිනකට බොහෝ වෙලාවක් පවතින සිරුරේ කලවා, ඉණ හා තට්ටම් ප්‍රදේශයේ දරාගත නොහැකි වේදනාවක් හට ගැනීම.

-කළවා ආශ්‍රිත මාංශ පේශී දුර්වල වී හැකිලී යාම.

-ඉඳගැනීමෙන් පසු එක් වර සිටගැනීමට ඇති අපහසුතාවය.

-ආමාශය ඉදිමීමම/ බඩ පිපීම.

-ශරීරයේ බර අඩුවීම.

මෙම ලක්ෂණ කාලයත් සමඟ ඉතාමත් නරක අතට හැරීමට ඉඩ ඇත.

Mononeuropathy/Focal Neuropathy.

මෙම තත්ත්වය හේතුවෙන් මුහුණ, සිරුරේ කඳ කොටස හා කකුලේ පහළ කොටස යන ප්‍රදේශයන් වල ඇති ස්නායු වලට විශේෂ බලපෑමක් ඇතිකරයි. මෙයින් වඩාත් පීඩා විඳින්නේ දියවැඩියාව ඇති තරමක් වයස්ගත පුද්ගලයන්ය. තවද, මෙම ස්නායු රෝගී තත්ත්වය අනපේක්ෂිත ලෙස හටගෙන ඉතාමත් දරුණු වේදනාවක් ගෙනදිය හැක්කකි. නමුත්, මෙයින් දිගුකාලීන ගැටලු මතු නොවේ.

Mononeuropathy තත්ත්වයට දිගු කාලීනව ප්‍රතිකාරයක් නොකළ සිටියද, එය බලපා ඇති ප්‍රදේශය මත, අදාළ රෝග ලක්ෂණ කෙමෙන් පහව යාමට ඉඩ ඇත. මෙම තත්ත්වයට ගොදුරු වූ රෝගින්ගේ දණහිස සිට විලුඹ දක්වා, කොන්දේ පහළ කොටස, ඉණ ආශ්‍රිතව, කළවා හි ඉදිරිපස, පපුව හා ආමාශය අවට වේදනාවක් ගෙනදෙයි.

මෙම රෝගි තත්ත්වය නිසා තවත් ස්නායු හා ඇස් ආශ්‍රිත ගැටලු හටගත හැකියි. ඇස් ඇතුළින් වේදනාව, ඇස් වල අවධානය අඩුවීයාම, පෙනීම අපහැදිලි වීම හා මුහුණේ එක් පැත්තකට පමණක් අංශභාගය (Bell’s palsy) වැළදීම ඒවා අතර වේ.

මෙහි දරුණු අදියරක් ලෙසට ස්නායු තෙරපීමකින් carpal tunnel syndrome යන තත්ත්වය ඇතිවීමට ඉඩ ඇත. මේ හේතුවෙන් සුළැගිල්ල හැර අතෙහි අනෙකුත් ඇඟිලි හිරිවැටී, අතින් අල්ලාගන්නා දෙයක් ග්‍රහණයේ තබා ගත නොහැකිවී යයි.

දියවැඩියාව නිසා ඇතිවන ස්නායු රෝග වලට කළ හැකි ප්‍රතිකාර.

මෙම තත්ත්වය මුළුමනින්ම හොඳ කළ නොහැක, නමුත් පහත සඳහන් ක්‍රම ප්‍රයෝජනයට ගෙන එහි රෝග ලක්ෂණ හා සංකූලතා මඟහරවාගත හැක.

– රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම.

මෙය පාලනය කිරීමෙන් බොහෝදුරට දියවැඩියාවෙන් ඇතිවන ස්නායු රෝග ලක්ෂණ මඟහරවාගත හැක. මෙහි ප්‍රතිඵල දියවැඩියාව පිළිබඳ අධ්‍යාපනය, ආහාර පාලනය, ව්‍යායාම හා නියමිත මාත්‍රාවට අනුව බෙහෙත් ලබාගැනීම යන අදියර ඔස්සේ ලබාගත හැකියි.

-සංකූලතා වලින් වැළකීමට ඔබගේ පාද පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීම.

ස්නායු රෝග වලින් පීඩා විදින අයට පාදයේ ඇතිවන තුවාලයක වේදනාව නොදැනීයාම සාමාන්‍ය තත්ත්වයක්. එම නිසා කකුලේ ඇතිවන කැපුම්, ඉරි තැලීම් ආදියෙන් ඉක්මනින්ම සුවවීමටනම් නිතිපතා ඔබගේ පාද පිළිබඳ පරීක්ෂාවක් සිදුකළ යුතුයි. එලෙස ඇතිවිය හැකි ආසාදන වලින් පරෙස්සම් වීමට රෝගීන් අවුරුද්දකට වතාවක්වත් පාද පිළිබඳ සම්පූර්ණ පරීක්ෂාවක් කරගත යුතුයි. තවද, ඔබ වෛද්‍යවරයා මුණ ගැසෙන සෑම විටම ඔබගේ පාදය පරීක්ෂා කරවා ගැනීම කළ යුත්තකි (මාස 3-4කට වතාවක්). ඔබගේ පාදයට හානිදායක වන කිසියම් හෝ දෙයකින් ඈත්වසිටීමට ඔබ වග බලා ගත යුතුයි. නියපොතු කැපීමේ වැනි සියුම් තැන්වලදී පරෙස්සම් වීමටත්, කකුල් සෝදා නිරතුරුවම පරීක්ෂාවට ලක්කිරීම හා කකුලට සුවපහසු මේස්, සපත්තු පාවිච්චි කිරීමටත් බුද්ධිමත් වන්න.

-ස්නායු රෝග මඟින් ඇතිවන වේදනාව අඩුකර ගැනීම.

ඔබගේ මුළු සෞඛ්‍ය තත්ත්වයටම බලපාන පරිදි මෙය නරක අතට හැරිය හැකියි. මෙම වේදනාව රාත්‍රි කාලයේදි උග්‍ර වී ඔබගේ නින්දට ද බාධා ගෙන දේ. දියවැඩියාවෙන් ඇතිවන ස්නායු රෝග සඳහා සාමාන්‍යයෙන්  අනුමත වන්නේ duloxetine, pregabalin, amitriptyline, gabapentin, tramadol සහ alpha-lipoic acid යන වර්ගයි.

දියවැඩියාවෙන් ඇතිවන ස්නායු රෝග වළක්වා ගැනීම.

මෙම තත්ත්වයෙන් වැළකීමට නම්, රෝගීයෙකු දියවැඩියාව මනාව පාලනය කිරීමට අදිටන් කර ගත යුතු වේ. මේ අතර නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම, නිතිපතා ව්‍යායාම් කිරීම, වෛද්‍යවරයා අනුමත කරන අදාළ බෙහෙත් වර්ග නිතිපතා ලබාගැනීම, මත්පැන් පානය අවම කිරීම හා දුම් බීම නැවතීම වැදගත් වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *