Current Date:අප්‍රේල් 24, 2024

රෝග විනිශ්චයෙන් පසු

බගේ වෛද්‍යවරයා ඔබ දියවැඩියාවෙන් පෙළෙන බව හඳුනාගැනීම එතරම් සතුටු උපදවන කරුණක් නොවේ. එය ඔබව කලකිරීමකට, දුකට, පුදුමයට පත්කරනවා සේම, මෙය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙසද සැලකිය නොහැකියි. මේ සඳහා ඔබට දිගු කාලීන ප්‍රතිකාර සඳහා යොමුවී, ආහාර හා ජීවන රටාවේ වෙනසක් ඇතිකරගැනීමට සිදුවේ. නමුත් මෙය ලෝකය පුරා මිලියන ගණනකට තිබෙන රෝගයක් විනා ලැජ්ජාවට පත්වීමට කරුණක් නොවේ.

දියවැඩියාව වර්ග 01, වර්ග 02 සහ ගර්භණී සමයේ දියවැඩියාව වශයෙන් වර්ග තුනකට බෙදේ. මෙයින් වර්ග 01 ඉතාමත් බරපතල වන අතර, එමඟින් ඔබගේ ශරීරයට ආහාර මඟින් ලැබෙන ග්ලුකෝස් යොදාගෙන ඉන්සියුලින් නිපදවීම සිදුනොවේ. එවැනි අවස්ථාවක දිනපතා බාහිරින් ඉන්සියුලින් ශරීරයට ඇතුළුකිරීම සිදු කළයුතුයි. වර්ග 02 දියවැඩියාව බොහෝ දෙනා අතර පොදු අතර, ගර්භණී සමයේ දියවැඩියාව ගර්භණීභාවයෙන් පසු ගැහුණු පාර්ෂවයට වැලඳිය හැකියි. මෙයින් කුමන වර්ගයට ගොදුරුවූවත්, දියවැඩියාවට නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් හෘදයාබාධ, ස්නායු හානිවීම, ඇස් ආශ්‍රිත ගැටලු, වකුගුඩු අකර්මන්‍ය වීම් හා තවත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දිය හැකියි.

දියවැඩියාව සමඟ ජීවත් වන්නේ කෙසේද?

දියවැඩියාව සම්බන්ධයෙන් ඔබට ඇතිවන ඍණාත්මක හැගීම් පසෙකලා නව ජීවන රටාවකට හුරුවීම සිදුවිය යුතුයි. ඔබට පහසු සහ සුදුසු ජීවන රටාවකට අනුගත වීමෙන් මෙය මඟහරවාගත හැකියි.

-හොඳින් හිතන්න.

මානසික ආතතිය නිසා රුධිරයේ සීනි මට්ටම ඉබේම ඉහළයාමක් සිදුවේ. එම නිසා දෛනික ජීවිතය අතරතුර විවේකීව සිටීම, ගැඹුරින් හුස්මගැනීම, සුරතලුන් සමඟ කාලය ගත කිරීම, සංගීතයට සවන්දීම හෝ ඔබගේ වෙනත් විනෝදාංශයකට යොමුවී කල් ගත කරන්න. ළඟම යහළුවෙක් හෝ පවුලේ කෙනෙක් සමඟ සංවාදයේ යෙදෙන්න, නැතිනම් වෘත්තීය උපදේශකවරයෙක් වෙත යොමුවී ඔබගේ ගැටලු සාකච්ඡා කරන්න.

-හොඳ ආහාර පාන ලබාගන්න.

දියවැඩියා තත්ත්වය ඔබට බලපාන අයුරු පාලනය කර ගත හැකි සුදුසුම ක්‍රමය වන්නේ මෙයයි. ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර ඔබ ගත යුතු ආහාර සම්බන්ධයෙන් සැලැස්මක් ලබාගන්න. මේදය වැඩි ආහාර, පැණි රස සහ ලුණු රස වැඩි ක්ෂණික ආහාර අඩු වශයෙන්ද, වැඩි වශයෙන් කෙඳි සහිත ආහාර, ධාන්‍ය වර්ග, බත්, පාන්, පැස්තා මෙන්ම එලවළු, පලතුරු, මේදය අඩු කිරි හෝ චීස් ඒ සැලැස්මට එකතුකරගන්න. එය ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට ගැලපෙන පරිදි තවත් ඵලදායී කරගත හැකියි.

-හොඳින් දියර වර්ග ලබාගන්න.

අපගේ ශරීරයේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍යයි. සීත කළ පැණි බීම වෙනුවට හොඳින් ජලය පානය කරන්න.

-නීරෝගිව හා ක්‍රියාශීලීව සිටින්න.

ඔබගේ ශරීරය අඛණ්ඩව පාලනය කිරීම හා ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යයි. ඇවිදීම, ජොගින්ග් (jogging) වැනි ශරීරය ක්‍රියාශීලීව තබන ව්‍යයාම් කිහිපයක් සැලසුම් කරගන්න. තවද, ඔබට නිවසේදීම වුවත් ස්ට්‍රෙචින්ග් (stretching), යෝගා වැනි ක්‍රියාකරකම් වල යෙදිය හැකියි. මෙමඟින් ඔබගේ ශරීරයේ බර පාලනය වීමක්ද සිදුවේ.

-නිසි වේලාවට බෙහෙත් ලබාගන්න.

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ හෝ නරක ලෙස දැනුනත්, දියවැඩියාව හෝ වෙනත් ඕනෑම සෞඛ්‍ය ගැටලුවකට නිතිපතා බෙහෙත් ලබාගත යුතුයි. යම් බෙහෙත් මඟින් ඔබට අතුරු ආබාධ තිබේනම් ඒ සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයා කලින් දැනුවත් කරන්න. තවද, එම බෙහෙත් ඔබගේ මූල්‍ය තත්ත්වයට දරාගත නොහැකිනම්, රජය විසින් සකසා ඇති සහන ක්‍රම වෙත යොමුවන්න. ඔබගේ රුධිර පීඩනයේ හා රුධිරයේ සීනි මට්ටම සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂා ගැන වෛද්‍යවරයා සමඟ සකච්ඡා කර, ඔබගේ වර්තමාන තත්ත්වය මත ඔබගේ බෙහෙත් වෙනස් වීමට අවශ්‍යනම් ඒ සඳහා ද පිළියම් ලබාගන්න.

-පිරිසිදුව සිටින්න.

ඔබ ඔබ වෙනුවෙන්ම පිරිසිදුකමක් පවත්වාගැනීම ඉතාම වැදගත්. පිරිසුදුව හා පිළිවෙලට අඳින්න, ඔබගේ ශරීරය නිතරම නැවුම්ව තබාගන්න. ඔබට ඇතිවන යම් තුවාලයක්, සිරීමක් හෝ කැපුමක් ඉක්මනින්ම බෙහෙත් මඟින් සුවකරන්න කටයුතු කරන්න. නිතිපතා ඔබගේ මුඛය පිරිසිදු කරන අතරම වීදුරුමසට වැඩි අවදානයක් ලබාදෙන්න.

-දුම්බීම නවත්වන්න.

දුම්බීම මාරන්තිකයි, ඔබ ගන්නා එක් දුම්වැටියක් පාසා ඔබගේ ජීවන කාලය එක් දවසකින් අඩු වේ.

ඕනෑම වේලාවක ඔබට ආහාර, බෙහෙත්, ව්‍යායාම් සම්බන්ධයෙන් අත්වන ගැටලු වෛද්‍යවරයා සමඟ පවසන්න, එ සඳහා උපදෙස් ලබාගන්න. දියවැඩියාව යනු අවසානය නොවේ, එය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට මුල පුරන්නකි. ඒ වෙනස සඳහා ඔබගේ කැපවීම අත්‍යවශ්‍යයි.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *